අතිපූජ්‍ය මඩවල පුණ්ණජි මහා තෙරුන් වහන්සේ

අතිපූජනීය මඩවල පුණ්ණජි මහ තෙරුන් වහන්සේ ඉතා ශාන්ත ව සැතපීසිටියදී 2018 ජූලි 27 වෙනි ඇසල පොහෝ දින අපවත් වූ සේක. උන්වහන්සේ අවුරුදු 89යක් දීර්ග ආයුෂ වැළදූ සේක. උන්වහන්සේගේ අති විශිෂ්ට ජීවන කාලය අනුස්මරණය උදෙසා අපි කුමක් ප‍්‍රකාශ කළ යුතුද? උන්වහන්සේ පදවි ලබා ගැනීමටත්, ආරාම තැනීමටත්, ගොඩනැගිලි ඉදිකිරීමටත්, තානාන්තර ලබා ගැනීමටත් සිය වටිනා කාලය කැප කළේ නැත. උන්වහන්සේගේ ජීවිතය අති විශිෂ්ට බව අපි පිළිගන්නේ ඇයි? උන්වහන්සේ තම ජීවිත කාලයම නිර්වාණය සාක්‍ෂාත් කර ගැනීමට කැප කළ බව අපට නිර්භයව ප‍්‍රකාශ කළ හැක. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද පරම පවිත‍්‍ර ශී‍්‍ර සද්ධර්මය අවබෝධ කර ගැනීමට උන්වහන්සේ තම ජීවිත කාලයම කැප කළ සේක. උන්වහන්සේ මුළු ජීවිත කාලය කැපකොට ලබා ගත් ප‍්‍රඥා මහිමය සියළුලෝකයාට දේශනාකරමින් සසර දුක නිවාලීමට මහත් උත්සහයක් ගත් සේක. උන්වහන්සේගේ ජීවිතේ එකම අරමුණ වූයේ එපමණයි. එම අරමුණ ඉෂ්ඨ සිද්ධ කරගැනීමට තම අවසන් හුස්ම දක්වා අපමණ වීර්ය ගත් සේක.

උන්වහන්සේ නිර්වාණය අරමුණු කර ගෙන ලෞකික සැප සම්පත් සියල්ල අත් හැර දැමීය. 1929 නොවැම්බර් 26 වෙනි දින පුෂ්පානන්‍ද මඩවල නමින් කුරුණෑගල දී මඩවල වලව්වේ එකම පුතා ලෙස උපත ලැබීය. එනමුදු උන්වහන්සේට ධනය,බලය හෝ තානාන්තර පිළිබද කිසිම හඹායෑමක් නොතිබිණි. උන්වහන්සේගේ එකම අභිලාෂය වූයේ කුඩාකල සිටම බුදු දහමේ නියම අරුත තේරුම් ගැනීමටයි. උන්වහන්සේගේ මෑණියන් උන්වහන්සේව ධර්මයට යොමු කල අතර පාසල් යෑමට පෙර සිටම ධර්මය හැදෑරීමට උනන්දු විය. නුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අතරදී මෛතී‍්‍ර භාවනාව දියුණු කර ගැනීමටද සිල් සමාදන් වීමටද අතිශය කැමැත්තක් දැක් විය.



කුඩා කල දීම පරම පවිත‍්‍ර ශී‍්‍ර සද්ධර්මය සැගවීගොස් ඇති බව උන්වහන්සේ තේරුම් ගත් සේක. පාලි සූත‍්‍ර පිටකය හදාරණ විට පරම පවිත‍්‍ර ශී‍්‍ර සද්ධර්මය එහි අන්තර් ගත වී ඇති බව උන්වහන්සේ තේරුම් ගත්හ. තම මුළු ජීවිත කාලයම කැප කර පරම පවිත‍්‍ර ශී‍්‍ර සද්ධර්මය අවබෝධ කර ගැනීමට උන්වහන්සේ අධිෂ්ඨාන කර ගත්හ. තම මෑණියන්ගේ අභිමතය පරිදි වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වී වෛද්‍ය උපාදිය ලබාගෙන අවුරුදු කිහිපයක් එම වෘත්තියේ නිරත වූ සේක. එනමුදු උන්වහන්සේගේ අභිප‍්‍රාය වූයේ නිවන් අවබෝධ කර ගැනීම උදෙසා බුද්ධ පුත‍්‍රයෙකු බවට පත් වීමයි. මෑණියන්ගේ අභාවයෙන් පසු වයස අවුරුදු 35 දී උන්වහන්සේ උතුම් පැවිදි දිවියට පත් වූහ. අමරපුර නිකායේ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමිපාණන් වහන්සේ වෙතින් උතුම් පැවිද්ද ලබා ගත් අතර උන්වහන්සේගේ පලමු උපසම්පදා ගෝලයා වීමේ භාග්‍ය උන්වහන්සේට හිමි විය. දොඩම් දූවේ භාවනා මධ්‍යස්තානයේ දී උන්වහන්සේ භාවනාව පුහුණු කළ සේක. පටිච්ච සමුප්පාදයද පංචස්කන්‍ධයද පිළිබද ප‍්‍රඥාව භාවනාව මගින් ලබා ගත් සේක. මහරගම භික්‍ෂුපුහුණු මධ්‍යස්තානයේ වැඩ වසමින් පාලි භාෂාව හා සූත‍්‍ර පිටකය ඉතා ගැඹුරින් අධ්‍යනය කළ සේක.

1971 වසරේදී අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමිපාණන් වහන්සේ අළුතින් ආරම්භ කරණ ලද ඇමරිකාවේ ප‍්‍රථම ලාංකික බෞද්ධ විහාරය වූ වොෂිංටන් බෞද්ධ විහාරයට ධර්මදූත මෙහෙවරට ගරු පුණ්ණජි තෙරුන් වහන්සේ පිටත් කර යැවීය. 1971 දී ඇමරිකාවේ බොස්ටන් හි ‘බොස්ටන් ති‍්‍රවිධ රත්න සංගමය’ ආරම්භ කරණ ලදී. එහිදී උන්වහන්සේ ඇමරිකානුවන්ට යෝග හා බෞද්ධ භාවනා පුහුණු කරන ලදී. තවද බොස්ටන් හා හාවාඞ් විශ්ව විද්‍යාල හා සම්බන්ධ වී බොද්ධ මානසික විද්‍යාව හා මානසික ප‍්‍රතිකාර පිළිබද පර්යේෂන පැවැත් විය. බොස්ටන් වැඩිහිටි සංගමයේ ද වර්මෝනට් විශ්ව විද්‍යාලයේ ද බෞද්ධ මානසික විද්‍යාව හා බෞද්ධ දර්ශනය පිළිබදව ඉගැන්වීම් කටයුතු වල නිරත වූහ. 1981 දී කැනඩාවේ ටොරොන්ටො මහා විහාරයේ අධිපති වීමට උන්වහන්සේට ආරාධනා කරන ලදී. 1992 දී කැනඩාවේ මිසිසාගා ප‍්‍රදේශයේ බෞද්ධ විහාරස්ථායක් ආරම්භ කළ සේක.



1993 දී එවකට ජනාධිපතිව සිටි ආර්. පේ‍්‍රමදාස මැති තුමන් මිහින්තලේ මිහිදු සරසවියේ බෞද්ධ පර්යේෂන මධ්‍යස්තානයේ කුලපති වීමට උන්වහන්සේට ආරාධනා කරණ ලදී. 1997 තායිවාන යේදී ෆොක්වාන්ෂාන් බෞද්ධ විශ්ව විද්‍යාලයේ බුද්ධ ධර්මය පිළිබද මහාචාර්ය ලෙස කටයුතු කිරීමට උන්වහන්සේට ආරාධනා කරණ ලදී. මේ කටයුතු වලට අමතරව උතුරු ඇමරිකාවේ අවුරුදු 40ක් වැඩ වාසය කල කාලයේදී උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරණ ලද අතිගාම්භීර නිර්මල ශ‍්‍රී සද්ධර්මය සොයා ගැනීමට වෙහෙසුනි. උන්වහන්සේ බටහිර මනෝවිද්‍යාව පිළිබදව ආචාර්ය උපාදියක්ද, බටහිර දර්ෂනවාදය හා අනෙකුත් ආගම් ධර්ම පිළිබද ආචාර්ය උපාදියක්ද ලබා ගන්නා ලදි. තවද නවීන විද්‍යාව, දර්ෂනය, පාලි, ති‍්‍රපිටක අධ්‍යනය, මනෝවිද්‍යාව, මෝහන විද්‍යාවද උන්වහන්සේගේ භාවනා අත්දැකීම් ද උපයෝගී කරගෙන බුදු දහම වටහාගත් සේක. මෙලෙෂ ලබා ගත් ප‍්‍රඥාව උතුරු ඇමරිකාවේ භාවනා යෝගීන්ට පැහැදිළි කර දුන් සේක.

අවසාන වසර 10යක පමණ කාලයක් මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ බෞද්ධ මහා විහාරස්ථානයේ වැඩවාසය කරමින් අපවත් වී වදාල අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ ධම්මානන්‍ද ස්වාමින් වහන්සේගේ අපවත් වීමෙන් පසු ඇතිවූ අඩුපාඩුව සපුරාලමින් ධර්මදූත මෙහෙවර නොපසු බටව ඉදිරියට ගෙන ගිය සේක. මේ කාලය තුල දී උන්වහන්සේ බෞද්ධ ග‍්‍රන්‍ථ විශාල ප‍්‍රමාණයක් ප‍්‍රකාශයට පත් කළ සේක.එමෙන්ම උන්වහන්සේගේ අවසන් හුස්ම දක්වා සිංගප්පූරුව, ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, ඇමරිකාව, එංගලන්තය, තායිවානය හා ලංකාව ආදී රට වලට වැඩම කොට පරම පවිත‍්‍ර ශී‍්‍ර සද්ධර්මය දේශනා කළ සේක. උන්වහන්සේගේ ඉංග‍්‍රිසි බසින් ධර්මය දේශනා කිරීමට තිබූ අතිවිශිෂ්ට හැකියාවෙන් දෙස් විදෙස් හි බැතිමතුන් මහත් ඵල නෙලා ගත්හ.



මීට වසර 2600 ට ඉහතදී පහලවූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර දුක නිමා කරණ මාර්ගය දේශනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරම පවිත‍්‍ර ශී‍්‍ර සද්ධර්මයත් උන්වහන්සේ ලොව අන්ධකාරය නැසීමට ගෙනෙන ලද පණිවිඩයත් අද නවීණ ලෝකයට නිවැරදි ආකාරයට තේරුම් ගැනීම දුෂ්කර කාර්යක් බවට පත් වී ඇත. නමුත් අතිපූජනීය ආචාර්ය මඩවල පුණ්ණජි තෙරුන් වහන්සේ තම මුළු ජීවිත කාලයම කැප කරමින් නිර්මල සද්ධර්මය අවබෝධ කරගැනීමට වීර්ය ගත් සේක.

උන්වහන්සේ ලෝකයාට අහිමි වුන නමුත් පරම පවිත‍්‍ර ශී‍්‍ර සද්ධර්මය පිළිබද උන්වහන්සේගේ ඉගැන්වීම් අප සැමට දායාද කළ සේක. උන්වහන්සේ ප‍්‍රකාශයට පත් කළ ග‍්‍රන්‍ථ/සීඞී හා අන්තර්ජාලය මගින් අප සැමට එම දේශනා හා ඉගැන්වීම් ලබා ගැනීමට අවස්ථාව ඇත. මෙම අවස්ථාව ප‍්‍රයොජනයට ගනිමින් උන්වහන්සේගේ ඉගැන්වීම් හා දේශන තේරුම් ගැනීමට උත්සහ ගනිමු. උන්වහන්සේ දේශනා කළ භාග්‍යවතුන් වහන්සේගේ පරම පවිත‍්‍ර ශී‍්‍ර සද්ධර්මය තව දුරටත් ප‍්‍රචලිත කිරීමට උත්සහ කරමු. උන්වහන්සේගේ මෛතී‍්‍ර කරුණාව අනුව උන්වහන්සේ අප සැමට ශී‍්‍ර සද්ධර්මය නිරතුරුව දේශනා කරමින් අප සැම නිවන් මගට යොමු කළ සේක. අප සැම මෙම අති ගාම්භීර ශී‍්‍ර සද්ධර්මය නොපසු බටව අනුගමනය කරමු.



උන්වහන්සේගේ මුළු ජීවිත කාලයම කැප කර උන්වහන්සේ දේශනා කළ ශී‍්‍ර සද්ධර්මය ඒ අනුව අනුගමනය කරමින් අපගේ කෘත්‍ය භාවය පුද කරමු. ජාත්‍යන්තර වශයෙන් බුදුසසුන බැබලවීමට නිහඩව අමිල මෙහෙවරක් කළ අපගේ සංඝ පීතෘවරයාණන් වහන්සේට බෞද්ධ අප සදා නයගැතිය. උන්වහන්සේගේ සියළු උතුම් ප‍්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉටු වේවා යැයි පතමු. අතිපූජ්‍ය ආචාර්ය මඩවල පුණ්ණජි මහ තෙරුන් වහන්සේට උත්තරීතර නිවන් සුව ලැබේවා!

සියලූ සත්වයෝ පරම පවිත‍්‍ර ශී‍්‍ර සද්ධර්මය අවබෝධ කර ගැනීමෙන් සසර දුක් නිමා කොට උතුම් නිර්වාණයෙන් නිවී සැනසෙත්වා!.